2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

ඕක් අත්තක් සභාගත කළ වගයි

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 95

 

එක්සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ නියෝජිතයෙක් වාසිබෝලන්තයට පැමිණි අවස්ථාවක එරට පාර්ලිමේන්තු සැසියක් නැරුඹීමට ද ගියේය. එදිනම කතානායකතුමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගි වූ ඒ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා, ඒ අතරතුර සුහද පිළිසඳරක යෙදුණේය. 

කතානායකතුමනි, මම දැක්කා අද එක මන්ත්‍රීවරයෙක් ඕක් අත්තක් පාර්ලිමේන්තුවට ගෙනත්, පෙන්න පෙන්නා කතා කෙරුවා... ඒ මොකද?

නියෝජිතයාට එසේ අසන්නට වූයේ, වාසිබෝලන්ත පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන පහසුකම් නොතිබූ බැවිනි.
ඕක් අත්ත පාර්ලිමේන්තු ගෙනැවිත් තිබුණේ, නීති විරෝධී ලෙස ගස් කැපීමේ සිද්ධියකට විරෝධය පෑමක් හැටියටය. එහෙත් කතානායකතුමා, එය වසංකර පිළිතුරක් දුන්නේ, එක්සත් ජාතීන්ගෙන් රට ජාතිය බේරාගැනීමේ පිරිසිදු චේතනාවෙනි.

ඒ මන්ත්‍රීතුමා වන රෝපණය පිළිබඳව බොහොම උනන්දු වෙන කෙනෙක්. අභය භූමියක පැළ කරන්න ගෙනාපු ඕක් අත්තක් තමයි ඒ සභාගත කෙරුවෙ.

මං දන්න තරමින් නං ඕක් අතු පැළවෙන්නෙ නෑනෙ.

අපෝයි... අපේ රටේ නම්, ඕන පැළයක් අතෙත් පැළ කරන්න පුළුවන්... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ වෙනම අංශයක් තියෙනවා අතේ පැළවෙන පැළ සම්බන්ධයෙන්.

නියෝජිතයා, මවිතයට පත්ව හිස සැළුවේය. මොහොතකට පසු යළිත් ප්‍රශ්නයක් නැඟුවේය.
කතානායකතුමනි, ඔබේ මැති ඇමැතිවරැන්ට විශේෂ නිල ඇඳුමක් තියෙනවද?

නෑ එහෙම දෙයක් නෑ.

එහෙනම්, අමුතු සුදු ඇඳුමක් ඇඳගෙන හිටියෙ. කලිසම් අඳින අයත්, කර පියවපු සුදු දිග කමිස ඇඳන් හිටියා.

ආ... ඒ අපේ ජාතික ඇඳුමනෙ.

කතානායක සිනාසුණේය.

එතකොට, ජනතාව ඒක අඳින්නෙ නැද්ද, මම නම් දැක්කෙ නෑ සාමාන්‍ය ජනතාව ජාතික ඇඳුම ඇඳගෙන ඉන්නවා.

ඔව් ඒක හරි. අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතික ඇඳුම තහනම්.ඒ මොකද?

එතකොට ඕනම තැනකදි දේශපාලනඥයා වෙනම අඳුරගන්ඩ පුළුවන්නෙ. ඒකෙ වාසි දෙකක් තියෙනවා. එක, දේශපාලනඥයා වැරදි වැඩ කරන්ඩ යන්නෙ නෑ. දෙක, ජනතාවට පුළුවන් දේශපාලනඥයන් දුටු තැන අඳුරගෙන ඕනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. උපකාරයක් ලබන්න.

දේශපාලනඥයෝ දවස පුරාම ජාතික ඇඳුම ඇඳගෙනමයි ඉන්නෙ?

අපොයි ඔව්, ඒගොල්ලන්ට ඇඳුම මාරැකරන්නවත් වෙලාවක් නෑ. බුදියගන්නෙත් ජාතික ඇඳුමින්මයි.

වාසිබෝලන්තයේ දේශපාලනඥයන් පිළිබඳව, එක්සත් ජාතීන්ගේ ලේකම්තුමා ප්‍රකාශ කර තිබූ කතා ඉතාම සාවද්‍ය බව, විශේෂ නියෝජිතතුමාට වැටහුණි. පෙරළා අමෙරිකාවට ගිය වහාම, ඒ පිළිබඳව කටයුතු කරන බව ඔහු කතානායකතුමාට පැවසීය.

පසුදින, ඔව්හු ඈත පළාතක ඉදිකෙරෙන ගුවන් තොටුපළක් නැරැඹීම සඳහා පිටත් වූහ.

අතරමඟදී ප්‍රාදේශීය නගරයක, කුණු කරත්තයක් තල්ලුකරගෙන යන, උස මහත පුද්ගලයෙක් දුටු නියෝජිතයා, කතානායක දෙසට හැරුණේය.

“කවුද අර කුණු කරත්තය තල්ලු කරන හාදයා, මට හොඳට දැකලා පුරුදුයි.
කතානායකතුමා, වීදුරු කවුළුවෙන් පිටතට එබී බැලුවේය.

“ආ, ඒ අපේ හිටපු ඇමැති කෙනෙක්.
“එයා මොකද කුණු කරත්ත තල්ලු කරන්නෙ?

“එතුමා, පිටරට සවාරියක් ගිහින් ඉද්දී, හෝටලේක උඩ තට්ටුවකින් පැනල ගිනස් වාර්තාවක් පිහිටුවන්න ගිහින් කොන්ද කඩා ගත්තනෙ. ඒකට බේත් කරන්න මහජන මුදල්වලින් ලක්ෂ සීයක් දෙසීයක් වියදම් වුණා. සනීප වුණාට පස්සේ, අර සල්ලිවල හිලව්වට එතුමා නගර සභාවේ කුණු අදින ජොබ් එකට ගියා.

“එතුමා රටට ණය වෙන්ඩ කැමති නැති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.
නියෝජිතයා සතුටින් හිස සැළුවේය.

සුළු මොහොතකට පසු, පාරේ එක් පැත්තක තාර දමමින් සිටි කම්කරැවෙක් දුටු නියෝජිතයා, යළිත් කතානායක දෙසට හැරුණේය.

“අර හාදයා කවුද?, එයත් දැකල පුරුදුයි වගේ.*
කතානායක කවුළුවෙන් පිටත බැලුවේය.

“එතුමගෙ කාලෙදී, අධිවේගී මාර්ගයක් හදද්දී, ඉංජිනේරුවන්ගෙ වැරුද්දකින් කිලෝමීටරේට මිලියන් ගාණක් වැඩිපුර වියදම් වුණා. එතුමා ඒකේ හිළව්වට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා පාරේ තාර දානවා.

“කිලෝ මීටරේට මිලියන් ගාණක් ගිහිල්ල නං ඒක පියවන්ඩ, ආත්ම ගාණක් තාර දාන්ඩ වෙයිනෙ.

“අන්න ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ. තාර දාන්ඩ හරි, මිනිහා මනුස්ස ආත්මෙක ඉපදෙන්ඩ එපායැ.
විශේෂ නියෝජිතයා, කනස්සලු පෙනුමින් යුතුව හිස සැළුවේය.

මෙබඳු, රටට ජාතියට ණය නොවන, අති අවංක දේශපාලනඥයන් සිටින දේශයක, ඕක් අතු පවා පැළවීම පුදුමයක් නොවන බව ඔහුට වැටුහුණි.

♦ කපිල කුමාර කාලිංග